වංචාව සහ දූෂණය මිනිසුන් බලාපොරොත්තු සුන්වීමේ අද්දරට තල්ලු කරයි

COLOMBO (News 1st) – වංචාවෙන් දූෂණයෙන් පරිසරයට සිදු වූ හානියට වන්දි ගෙවීමට ඇත්තේ සාමාන්‍ය ජනතාවයි.

අයහපත් කාලගුණය මධ්‍යයේ වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායම අක්මීමන සහ බෝපේ පෝද්දල ප්‍රදේශයේ ගම්මාන රැසකට ගොස් ප්‍රදේශවාසීන් මුහුණ දෙන මූලික ගැටලු පිළිබඳව සොයා බැලීය.

අක්මීමන, තල්ගස්‌සාය, කැකිරිහේන, ගොඩදෙණිගම, ගල්වලගොඩකන්ද, බෝපේපොද්දල, හොළුවගොඩ මුලන යන ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සොයා බැලීම සඳහා අප කණ්ඩායම් සංචාරයක නිරත විය.

අපේ කණ්ඩායම් එම ප්‍රදේශයට ගිය අවස්ථාවේ හොලුවාගොඩ ගම්මානයේ වගාවන් ජලයෙන් යටවී තිබූ අතර මෙම ප්‍රදේශයේ පවුල් රැසක් ගොවිතැනින් තම ජීවිකාව ගෙනයති.

තවත් ගම්මැද්ද ගෙයින් ගෙට කණ්ඩායමක් අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ ගම්මාන ගණනාවකට ගොස් ගම්වාසීන් මුහුණ දෙන මූලික ගැටලූ පිළිබඳව සොයා බැලීය.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම නුවරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මීගස්වැව සමගිපුර ගම්මානය ඇතුළු ගම්මාන රැසක අපගේ කණ්ඩායම් සංචාරයක නිරත විය.

හීන් අම්මා යනු ජීවිතය ගැට ගසා ගැනීමේ සටනකට මුහුණ දෙන ආච්චි කෙනෙකි.

නිදන්ගත වකුගඩු රෝගයක් සමඟ පොරබදමින් සිටින ඇයගේ සැමියා පසුගිය වසර 9ක පමණ කාලයක සිට අංශභාග රෝගයෙන් පෙළෙනවා.

ඒ වගේම හීන් අම්මා දෛනික කුලී වැඩ කරන කෙනෙක්.

මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වූ ගම්මැද්ද කණ්ඩායම නානාට්ටන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන කිහිපයකට ඇතුළු විය.

වංගලෙයි ගම්වාසීන් යැපෙන්නේ ධීවර කර්මාන්තයෙන්.

වෙරළ ඛාදනය, වියළි මත්ස්‍ය නිෂ්පාදනයට අවශ්‍ය ප්‍රමිතියෙන් තොර ලුණු සහ ඉන්ධන මිල ඉහළ යාම නිසා ඔවුන්ට ජීවත්වීම දුෂ්කර වී ඇත.

එරුවිටන් ප්‍රදේශයේ ජනතාවට නිසි නිවාස නොමැති අතර ගංවතුර ඇති වූ විට ඔවුන්ගේ වත්මන් නිවාස ජලයෙන් යටවේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් සමඟ ගම්මැද්ද දොරින් දොර කණ්ඩායම් හෙටත් ශ්‍රී ලංකාවේ පිටිසර ගම්මානවලට පිටත් වේ.

අපට ඔබේ ශ්‍රම දායකත්වය ලබා දෙන්න

අප සමග එක්වන්න